Tuesday, November 10, 2020

ජෛව සොරකම සහ ජෛව මංකොල්ලය

 

ජෛව සොරකම සහ ජෛව මංකොල්ලය


ශ්‍රී ලංකාවේ හමුවන ශාක, සතුන් හා ඔවුන්ගේ කොටස් නීති විරෝධී ලෙස අපනයනය කිරීම කලක පටන් වරින් වර අසන්නට ලැබෙන කටයුත්තකි.



මෙය වල්ලා පට්ටා, සුදු හඳුන් වැනි මහා පරිමාණයෙන් සිදු වන අපනයනයන් මෙන් ම තාරකා ඉබ්බන්, දිවි මකුළුවන්, උඩවැඩියා ශාක, ක්‍ෂුද්‍ර ජීවීන් වැනි සුළු පරිමාණ අපනයනයන් දක්වා විවිධ පරාසයෙන් සිදු වන්නකි. මෙහි ආසන්නතම සිදුවීම වන්නේ 2016 වසර ආරම්භයත් සමඟ සිංහරාජ ජාතික උරුම වන භූමියෙන් පර්ණාංග (මීමන) ශාක කොටස් එකතු කරමින් සිටිය දී අත් අඩංගුවට පත් ජර්මන් ජාතික විද්‍යාඥ කණ්ඩායම යි.


ශ්‍රී ලංකාවේ හමුවන ශාක හෝ සතුන්ගේ හෝ ඔවුන්ගේ කිසියම් කොටසක් නීති විරෝධී ආකාරයෙන් රටින් ගෙන යාම හෝ ගෙන යාමට උත්සාහ කිරීම හඳුන්වනු ලබන්නේ ජෛව සොරකමක් ලෙසිනි. මෙහි දී සොරකමට ලක්වන්නේ සම්පූර්ණ සතෙකු, ශාකයක්, ඒවායේ කොටස්, නිස්සාරක, ශ‍්‍රාවයන් හෝ ප‍්‍රවේණික ද්‍රව්‍යයක් යන  ඕනෑ ම දෙයක් විය හැකි ය. ජෛව සොරකමේ ප‍්‍රධාන අංගයන් දෙකකි.  එනම් නීති විරෝධීභාවය හා රහසිගතභාවය යි. 


නීති විරෝධීභාවය පැන නගින්නේ එම ද්‍රව්‍යයක් ශ්‍රී ලංකාවේ නීතියට එරෙහිව එකතු කිරීම හෝ නීතියට පටහැනි ආකාරයෙන් අපනයනය කිරීමට හෝ අපනයනය කිරීමට තැත් කිරීම යන මේ කිනම් හෝ ක්‍රියාවකින් වේ. මෙහි දී අදාළ පනත් අතර වන සත්ව හා වෘක්ෂලතා ආරක්‍ෂා කිරීමේ ආඥා පනත, වන සංරක්‍ෂණ ආඥා පනත, ධීවර හා ජලජ සම්පත් පනත ප‍්‍රධාන වේ. රහසිගතභාවය යන්නට සඟවා තබා ගැනීම මෙන් ම වරදවා දැක්වීම, කූට ලේඛන භාවිතය ඇතුළු සියලූ ම ආකාරයේ නොමඟ යැවීමේ උත්සාහයන් ඇතුළත් වේ.


ශ්‍රී ලංකාවේ හමුවන ජීවීන් හෝ ඔවුන්ගේ කොටස් ඇසුරින් කරන නිෂ්පාදනයන්, නිස්සාරකයන් හෝ ඔවුන් තුළින් ලබා ගන්නා ප‍්‍රවේණික ද්‍රව්‍යයන් හා ජෛව රසායනික සංයෝග භාවිතයට ගැනීමට මෙරට සතු අයිතිවාසිකම් අහිමි කිරීම, සීමා කිරීම හෝ බාධා කිරීම වන අන්දමට වෙනත් රටක පවතින බුද්ධිමය දේපළ නීති උපයෝගී කර ගැනීම ජෛව මංකොල්ලය නම් වේ. මෙම සංසිද්ධියේ ඇති විශේෂ ලක්‍ෂණය වන්නේ එමඟින් අහිමි වන්නේ භෞතික ද්‍රව්‍යයක් නොව ශ්‍රී ලංකාවට හිමි විය යුතු අයිතිවාසිකමක් හො අයිතිවාසිකම් ගණනාවක් වීම යි. එමෙන් ම එය අදාළ රටවල නීති තත්ත්වයන්ට අනුව ලබා ගන්නා නීත්‍යනුකූල අයිතිවාසිකම් වීම ද විශේෂයකි. මේ සඳහා උපයෝගී කරගන්නා නෛතික මෙවලම් වන්නේ ජීවීන් හා ජීවී කොටස් සඳහා ඒකාධිකාරී අයිතිවාසිකම් ලබා දෙන බුද්ධිමය දේපළ අයිතිවාසිකම් මාලාවන් ය.


ජෛව සොරකම හා ජෛව මංකොල්ලය බොහෝ විට එකිනෙක හා බැඳී පවත්නා සංසිද්ධීන් දෙකකි. එවැනි අවස්ථාවක පළමුව සිදු වන්නේ ජෛව සොරකමකි. එනම් ජීවියෙකු හෝ කොටස් නීති විරෝධී ලෙස අපනයනයකි. ඉන්පසු එම ජීවියාගෙන් හෝ ජීව කොටස්වලින් ලබා ගත හැකි ප‍්‍රයෝජනවත් කාර්යයන් හඳුනා ගැනීම සිදුවේ. මින් පසු එම ප‍්‍රයෝජනවත් කාර්යයන් ඉටු කරන ද්‍රව්‍යයන්, ගුණාංගයන් ආවරණය කරමින් වෙනත් රටවල් තුළ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ලබා ගැනීම සිදු වේ. ඇතැම් විට ජීවියා හෝ කොටස් නීත්‍යනුකූල ලෙස සිදු කළ ද, ඒවා ජෛව මංකොල්ලයට ලක්වන අවස්ථා දැක ගත හැකි ය.  පසුගිය කාලයේ ශ්‍රී ලංකාව තුළ ජෛව සොරකම හා ජෛව මංකොල්ලය ඉහළ යාමට ප‍්‍රධාන කරුණු කිහිපයක් බලපා තිබේ.



 ශ්‍රී ලංකාව තුළ ඉහළ ජෛව විවිධත්වයක් හා ඉහළ ආවේණික ජීවී ප‍්‍රතිශතයක් සිටීම.
 විද්‍යාත්මක හා තාක්‍ෂණික දියුණුව සමඟ විවිධ පර්යේෂණ සඳහා ඉඩ ප‍්‍රස්ථා ඇති වීම.
 ජීවීන් අනුසාරයෙන් නව නිෂ්පාදනයන් ලබා ගැනීමේ ප‍්‍රවණතාව ඉහළ යාම.
 දියුණු රටවල ඇති විශාල පර්යේෂණායතන හා සමාගම් ජෛව නිෂ්පාදන කෙරෙහි වඩාත් නැඹුරු වීම.
 බුද්ධිමය දේපළ අයිතිවාසිකම්වල වර්ධනය මඟින් ජෛව විවිධක්වයට අදාළ කොටස් ආවරණය වන පරිදි නීති හා සම්මුති ඇති වීම.
ජෛව විවිධත්වයට අදාළ ව ලබා ගත හැකි බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පනතේ සඳහන් ප‍්‍රධාන අකාර අනුව සිදු වේ. 


x හෙළිදරව් නොකළ රහස්  හෙවත් වෙළෙඳ රහස් 
x පේටන්ට් බලපත‍්‍ර - නිර්මාණ හිමිකම් බලපත‍්‍ර
x ශාක ප‍්‍රභේදවලට පමණක් අදාළ වන ශාක අභිජනක අයිතිවාසිකම් හෙවත් ශාක ප‍්‍රභේද ආරක්‍ෂක අයිතිවාසිකම් 
මේවා  එකින්  එක  පහත  පරිදි  විස්තර  කළ  හැක.


වෙළෙඳ රහස් හෝ හෙළිදරව් නොකළ තොරතුරු



කිසියම් ජීවියෙකු අනුසාරයෙන් කරන අවස්ථාවක එම ජීවියා පිළිබඳ නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ තොරතුරු, ජීව කොටස් භාවිතයෙන් සිදු කරන යම් නිෂ්පාදන ක්‍රියාවලි වැනි තොරතුරු රහසිගත ලෙස තබාගෙන නිෂ්පාදිත ද්‍රව්‍යයක් පමණක් වෙළෙඳපොළ වෙත යොමු කිරීම පමණක් සිදු කරයි. මේ ආකාරයේ ජෛව මංකොල්ලයට අයත් සිද්ධීන් ඇත්තේ ඉතා ම විරල ලෙස ය.



පේටන්ට් බලපත‍්‍ර



නව නිර්මාණයක් සිදු කළ යම් තැනැත්තෙකුට යම් නිශ්චිත කාලයක් (වර්තමානයේ දී ලොව පුරා වසර 20ක්) සඳහා එම නිර්මාණයට අදාළ ඒකාධිකාරී අයිතිවාසිකම් මාලාවක් පිරිනැමීම මෙම බලපත‍්‍ර මගින් සිදු වේ. එම පේටන්ට් බලපත‍්‍රය පිරිනැමුණු අවස්ථාවේ සිට පොදු ලේඛනයක් වන නමුත් එහි සඳහන් ක්‍රියා මාර්ග ගැනීම මගින් නිෂ්පාදනය සිදු කර වාණිජ පරමාර්ථ සඳහා භාවිත කිරීමට අදාළ වසර 20 තුළ කිසිදු පාර්ශ්වයකට ඉඩකඩක් නැත. පේටන්ට් බලපත‍්‍රයක් කිසියම් නව නිෂ්පාදනයක් සඳහා මෙන් ම නිෂ්පාදනයක් සිදු කිරිමේ ක‍්‍රමවේදයක් යන අංග දෙකින් එකකට හෝ නැතිනම් අදාළ අංග දෙක ම ආවරණය වන ලෙස හෝ ලබා දිය හැකි ය. කිසියම් නව නිර්මාණයක් සඳහා පේටන්ට් බලපත‍්‍ර ලබා ගැනීමට ප‍්‍රධාන අවශ්‍යයතා තුනක් සම්පූර්ණ කළ යුතු ය.



නවතාවය 


එය මෙතෙක් නොකළ නව දෙයක් විය යුතු ය. නවතාවය යන්න අර්ථ නිරූපණය කරනුයේ එය කුමක් ද යන්න නොව, නවතාවයට අදාළ නොවන්නේ කුමක් ද යනුවෙනු යි. එනම් පූර්ව ශාස්ත‍්‍රයෙන් හෙළිදරව් නොවූ තොරතුරක් යන්න පේටන්ට් බලපත‍්‍ර ලබා දීමේ දී සලකා බලනු ලැබේ. 


නිර්මාණාත්මක පියවරයක් අඩංගු වීම 



නිර්මාණාත්මක බව යනු එම ශාස්ත‍්‍රය පිළිබඳ ව දැනුමක් නිපුණතාවක් ඇති කෙනෙකුට මෙම නිර්මාණය සිදු කළ ආකාරය එකවර ම විමාන නොවීමේ සාධකය යි. මෙහි පිටුපස ඇති කරුණ වන්නේ ඒ පිළිබඳ දැනුම නව දැනුමක් නිසා ඒ ගැන පූර්ව දැනුමැති පුද්ගලයෙකුට එම පියවර ගත් බව හැඟවෙන සාධකයක් ඒ තුළ නොමැතිව අලූත් සාධකයක් එහි ඇති බව පැහැදිලිව ම පෙන්වීම යි. මෙය එතරම් ගැඹුරින් දැඩි ලෙස සලකා බලන සාධකයක් නොවේ.


ප‍්‍රයෝජනවත්භාවය


එනම් යම්කිසි යහපත් කාර්යයක් සඳහා එය යොදා ගන්නා බව මුඛ්‍ය අර්ථයෙන් හැඟුණ ද එය යම්කිසි භාවිතයක් සඳහා යොදා ගැනීමේ අරමුණ එයින් ගම්‍ය වේ. ඒ නිසා යහපත් කාර්යයක් සඳහා යොදා ගන්නා දෙයක් මෙන් ම විනාශකාරී දෙයක් සඳහා වන රසායනික අවියක්, බෝම්බයක්, ආයුධයක් වැනි දෙයක් වුවත් පේටන්ට් බලපත‍්‍රයක් මාර්ගයෙන් ආවරණය කර ගැනීමට පුළුවන. ප‍්‍රයෝජනවත්භාවය ජෛව මංකොල්ලයට සම්බන්ධ වන්නේ අද පැහැදිලිව ලබා ගත හැකි සත්ත්ව ප‍්‍රයෝජනයක් මෙන් ම අනාගතයේ දී යම් කිසි දවසක ප‍්‍රයෝජනයට ගත හැකි (විභව) ප‍්‍රයෝජනයක් ද ආවරණය කර ගැනීමට එමඟින් හැකියාව ලැබීම යි. 



මෙම අවශ්‍යතා සම්පූර්ණ වූ පමණින් පේටන්ට් බලපත‍්‍රයක් ලබා දීම අනිවාර්යෙන් ම සිදු නොවන්නකි. සෑම රටක් ම පේටන්ට් බලපත‍්‍රයක් ලබා දීමේ දී යම් යම් දේවල් එයින් බැහැර කොට තිබේ. 


එය ඒ ඒ රටේ පවත්නා අවශ්‍යතාවන් හෝ සම්ප‍්‍රදාය, ගති සිරිත්, සංස්කෘතිය අනුව වෙනස් වේ. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බුද්ධිමය දේපළ පනත අනුව සතුන්, ශාක, සතුන්ගේ කොටස්, ශාක කොටස් වැනි දේවල්වලට ද ආනාවරණයන් සම්බන්ධයෙන් ද පේටන්ට් බලපත‍්‍ර ලබා ගත නොහැක. නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ, යුරෝපයේ හා ජපානයේ පේටන්ට් ක්‍රියාවලි අනුව නිර්මාණය යන්නට අනාවරණය ද ඇතුළත් වන අතර සතුන්, ශාක හා ඔවුන්ගේ කොටස් ඇමෙරිකා එක්සත් ජනපදයේ පේටන්ට් බලපත‍්‍රයට විෂය වස්තුව වීමේ ඉඩප‍්‍රස්තාව ලබා දී ඇත. එහෙයින් පේටන්ට් බලපත‍්‍රයෙන් බැහැර කොට ඇති ‘නිර්මාණ’ යන්න රටින් රටට වෙනස් වේ.  ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ පේටන්ට් ක‍්‍රමය වඩා ලිහිල්ව ආවරණය කරගැනීමට, වඩා පුළුල්ව භාවිත කරන බුද්ධිමය දේපළ නීතිවලින් අර්ථකථනය කරන ජෛව සම්පත්වල ඇති විවිධ සංඝටකයන්ට පේටන්ට් බලපත‍්‍ර ලබා ගැනීමට ඇති ඉඩප‍්‍රස්තාව යි. 



මේ අනුව බලන විට මෙම රටවල ජෛව සම්පත් සඳහා පේටන්ට් බලපත‍්‍ර ලබා ගැනීමට ඇති ඉඩ ප‍්‍රස්තාව පහත පරිදි ලැබී ඇත.


 නව ශාක ප‍්‍රභේද හෝ සත්ව ප‍්‍රභේද
 විකරණය මඟින් අලූත් ජීවී ආකාර හෝ ප‍්‍රභේද
 ශාකවල ප‍්‍රවේණික ද්‍රව්‍ය (ජානවල කොටස් ද ඇතුළු ව)
 ශාක හෝ සතුන්ගෙන් ලබාගන්නා හෝ, ඔවුන් විසින් පිට කරන විවිධ ජෛ රසායන සංයෝග, එම සයෝගවල ව්‍යුත්පන්න හෝ ඒවායේ කොටස්
 ක්‍ෂුද්‍ර ජීවී මාදිලි
 සෛල මාදිලි (මෙයට මිනිස් ජානවලින් ලබා ගන්නා ෙසෙල පටක පවා ඇතුළත් විය හැකි ය)

|

ප‍්‍රවේණික ද්‍රව්‍යවල ඇති  අණුව හෝ ඍභ් අණුව ප්‍රෝටීන් සැකැස්ම හෝ ඊට අදාළ ප්‍රෝටීන නිෂ්පාදනය කරන සමස්ත පද්ධතිය ම (එනම්  අණුවෙන් අණුවත්, එහි ඇති ප්‍රෝටීන් අණුවේ ඇති ඇමිලෝ අම්ල වර්ගවල පිහිටීම හා එම අම්ලවල සම්ප‍්‍රයුක්ත වන ප්‍රෝටීනය යන සියලූ ම දේවල් ලබා ගත හැක)
මෙසේ ලබා ගන්නා සියලූ ම පේටන්ට් බලපත‍්‍ර ‘ජෛව පේටන්ට්’ නම් වේ. 



ශාක අභිජනක අයිතිවාසිකම් පනත්



මෙවායින් සිදු කෙරෙනුයේ නව ශාක විශේෂයන් සඳහා බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ලබා දීම යි. මෙහි දී සම්පූර්ණ කළ යුතු පළමුවැනි අවශ්‍යතාව වන්නේ  නව ශාක ප‍්‍රභේදයක් වීම යි. එනම් අදාළ ශාක විශේෂය තුළ මෙතෙක් හදුනා ගෙන නොමැති ප‍්‍රභේදයක් විය යුතු ය. ඉන්පසුව සලකා බැලිය යුතු අවශ්‍යතා වන්නේ එම ශාකය අනෙකුත් ශාකයන්ගෙන් පැහැදිලිව ම වෙන් කොට හදුනා ගත හැකි වීම එම ශාක විශේෂයෙහි ඇති සියලූ ම ශාකයන්හි ඇති මූලික ලක්‍ෂණ සමාන වීම එම ශාකයෙහි ඇති ලක්‍ෂණ ඉදිරි පරම්පාරවේ පැළ වෙත ද සම්ප්‍රේෂණය වීම යන්න යි.  මෙම අවශ්‍යතා සම්පූර්ණ කරන නව ශාක ප‍්‍රභේදයකට ශාක අභිජනක අයිතිවාසිකම් ලබා දීම බොහෝ රටවල සිදු කෙරේ. 



ශ්‍රී ලංකාව තුළ ශාක අභිජනක පනතක් 2001 සිට සාකච්ඡාවට බදුන් වී ඇති මුත් තවමත් ස්ථාපත වී නොමැති හෙයින් මෙරට තුළ මෙකී අයිතිවාසිකම් පිළිගැනීමක් දැනට සිදු නොවේ. ශාක අභිජනක පනත බැලූ බැල්මට ම නව ශාක සඳහා පමණක් අදාළ වුව ද ඇතැම් විටෙක ශ්‍රී ලංකාව තුළ ඇති සාම්ප‍්‍රදායික ශාක ප‍්‍රභේදයක විස්තර ඇතුළත් කර නොමැති අවස්ථාවක එය නව ශාක ප‍්‍රභේදයක් ලෙස වැරදි ලෙස දක්වා ඒ සඳහා ශාක අභිජනක අයිතිවාසිකම් ලබා ගැනීමේ ඉඩප‍්‍රස්තාව පවතින බැවින් මෙය ද ජෛව මංකොල්ලයට උපකාරී වන මෙවලමක් ලෙස එම නීතිය ඇති රටවල දශක දෙකකට අධික කාලයක් තිස්සේ භාවිතා වී ඇත. එම නිසා මෙම ශාක අභිජනක අයිතිවාසිකම් පනත් සම්බන්ධයෙන්, ඒවායේ ඇති යම් යම් ලිහිල්තාවයන් තුළ ජෛව මංකොල්ලය සිදු කරන ආකාරය සලකා බැලීම වැදගත් වේ. 



ජෛව මංකොල්ලයට ලක්වන ජෛව ද්‍රව්‍ය මොනවා ද යන්නත් ඒවායේ අන්තර්ගත ගුණාංග මොනවා ද යන්නත් සලකා බැලීම එය වැළැක්වීම සඳහා ගත හැකි විශේෂ පියවරකි. මුලින් ම සලකා බැලිය යුත්තේ ජෛව මංකොල්ලයට පාත‍්‍රවන ද්‍රව්‍ය මොනවා ද යන්න සොයා බැලීම යි. ශ්‍රී ලංකාව හා කලාපයේ ඇති අනෙකුත් රටවල මෙන් ම ලෝකයේ ඇති ජෛව සම්පතවලින් බහුල සියලූ ම රටවල තත්ත්වයන් සලකා බලන විට වඩාත් ම ජෛව මංකොල්ලයට බදුන් වන ජීවී ද්‍රව්‍ය මොනවා ද යන්න අවබෝධ කර ගත හැකි ය. 


x ආවේණික සතුන් හා ශාක
x ක්‍ෂුද්‍ර ජීවී ප‍්‍රභේද
x ශාක හා සත්ව ජෛව රසායනික සංයෝග (විශේෂයෙන් ම ඖෂධ සංයෝග වැදගත් වේ)
x විෂ සහිත ශාක හා සතුන්ගේ විෂ පදාර්ථ හා ඊට අදාළ රසානික ක්‍රියාවලිය
x වාණිජමය වශයෙන් වැදගත් නිෂ්පාදනවලට අදාළ ප‍්‍රවේණික ද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය හා ඊට අදාළ රසානික ක්‍රියාවලිය
x මිනිසුන්ගේ ශරීරවල ඇති ව්‍යාධිජනක සෛල මාදිලි (විශේෂයෙන්ම පිළිකා සෛල මාදිලි)
x මිනිසුන්ගේ ශරීරවල ඇති විවිධ ලක්‍ෂණවලට හේතු වී ඇති ජාන හා ප‍්‍රවේණි ද්‍රව්‍ය කොටස්
x සත්ව හා ශාකවල ප‍්‍රවේණි ද්‍රව්‍ය කොටස් හා ප්‍රෝටීන් ද්‍රව්‍ය



මේ වන විට ශ්‍රී ලංකාවේ සතුන් හා ශාක විශාල ප‍්‍රමාණයකට අදාළව පේටන්ට් බලපත‍්‍ර ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇත. මෙහි දී බොහෝ දෙනා දරන දුර්මතයක් නම් පේටන්ට් බලපත‍්‍රය හිමිව ඇත්තේ අදාළ ශාකයට හෝ සත්වයාට යැ යි සිතීම ය. නමුත් බුද්ධිමය දේපළ පනත අනුව පෙනී යන්නේ යම් සතෙුට හෝ ශාකයකට පේටන්ට් බලපත‍්‍ර හිමි වන්නේ එය නව ශාක - සත්ත්ව ප‍්‍රභේදයක් වන අවස්ථාවක දී හෝ එය නව ක්‍ෂුද්‍ර ජීවියෙකු නම් එය නුමුහුන් මාදිලියක අකාරයෙන් උකහා ගන්නේ නම් පමණි.


ඒ නිසා මෙහි දී බොහෝ විට සිදු වන්නේ එම ශාකය හෝ සත්ත්වයාගේ කාරණය ආශ්‍රිතව ලබා ගන්නා පේටන්ට් බලපත‍්‍ර වීම යි. එහෙයින් මෙම ද්‍රව්‍ය පිළිබඳ ව විග‍්‍රහ කිරීමේ දී මෙම පේටන්ට් බලපත‍්‍රයෙහි ඇති සත්‍ය තත්ත්වය කුමක් දැ යි පැහැදිලි කොට ගත යුතු ය. 



මෙහි දී සලකා බැලිය යුතු මුල් ම කාරණය නම් මෙය ශාක හෝ සත්ත්ව ප‍්‍රභේදයකට ලබා ගත් පේටන්ට් බලපත‍්‍රයක් ද යන්න යි. නොඑසේ නම් එම ශාකයෙන් හෝ සත්ත්වයාගෙන් ලබා ගන්නා ජෛව රසායන පදාර්ථයක් හඳුනාගෙන, එමඟින් ලබා ගන්නා ප‍්‍රයෝජනයට පේටන්ට් බලපත‍්‍ර ලබාගෙන ඇති ද යන්න යි. 



නොඑසේ නම් එම ජෛව රසායන පදාර්ථය හඳුනා නොගෙන, එය ඇති බවට සැක කරමින් ලබා ගත් පේටන්ට් බලපත‍්‍රයක් ද යන්න යි. තවත් අවස්ථාවක දී එම ශාකයෙන් හෝ සතාගෙන් ලබා ගන්නා ප‍්‍රවේණික ද්‍රව්‍ය, ඒවා භාවිතා කරන පිළිවෙළ සහ ඒවායෙන් ලබා ගත හැකි ප‍්‍රයෝජනයන් අළලා පේටන්ට් බලපත‍්‍රයක් ලබාගෙන තිබේ ද යන්න යි. එසේත් නැතිනම් යම් සතෙකු හෝ ශාකයක් විසින් නිකුත් කරන යම් ශ‍්‍රාවයක් පිළිබඳ ව නිකුත් කර ඇති පේටන්ට් බලපත‍්‍රයක් ද යන්න යි. මේ අනුව පෙනී යන්නේ යම් පේටන්ට් බලපත‍්‍රයක් විග‍්‍රහ කිරීමට ප‍්‍රථම ව එය අදාළ වන විෂය වස්තුව කුමක් ද යන්න සලකා බැලිය යුතු බව යි. දෙවැන්න නම් එම විෂය වස්තුවට අදාළ පේටන්ට් බලපත‍්‍රය මඟින් හෙළි කර ඇති පූර්ව ශාස්ත‍්‍රය කුමක් ද යන්න යි. තෙවනුව එම පේටන්ට් බලපත‍්‍රය විස්තර කර දෙන සවිස්තරාත්මක සිද්ධිදාමය කොතෙක් දුරට විස්තර කර ඇති ද යන්නත් එය පූර්ව ශාස්ත‍්‍රය හා එක්ව කැටි කළ පසු එම පේටන්ට් බලපත‍්‍රය මඟින් ආවරණය කිරීමට බලාපොරොත්තු වන හිමිකම් මොනවා ද යන්න පැහැදිලිව දක්වා තිබිය යුතු ය.



පේටන්ට් බලපත‍්‍රයක් මාතෘකාවකින් සමන්විත වන අතර එමඟින් එහි අන්තර්ගතය නියමාකාරයෙන් විග‍්‍රහ කළ නොහැක. එබැවින් එම මාතෘකාව හෝ එහි සාරාංශය නොසලකා එයින් ඔබ්බට ගොස් එහි ඇති කරුණු (පූර්ව ශාස්ත‍්‍රය - නව නිර්මාණය - පේටන්ට් බලපත‍්‍රයෙහි ඇති හිමිකම්) සලකා බැලීම අත්‍යවශ්‍ය වේ. 


ඇතැම් පේටන්ට් බලපත‍්‍රවල හිමිකම් තුළ වැඩි විස්තරයක් අන්තර්ගත නොවුණ ද එය සලකා බැලිය යුත්තේ නව අනාවරණ සමඟ බැවින් එහි බැලූ බැල්මට නොපෙනෙන විශාල පරාසයක් අනාවරණය වීමට පුළුවන. එහෙයින් අපට අහිමි වී ඇති අයිතිවාසිකම් සැලකීමේ දී  මේ පිළිබඳ ව ගැඹුරින් විග‍්‍රහ කිරීම අත්‍යවශ්‍ය බව පෙනී යයි. 



මෙහි ඇති අනෙක් වැදගත්කම නම් මේ වන විට අපට අහිමි වී ඇති අයිතිවාසිකම් මොනවා ද, ඒවායේ ප‍්‍රමාණය කොපමණ ද යන්න වටහා ගැනීමට ද හැකියාව ලැබීම යි. එපමණක් නොව එමඟින් එය සැබවින් ම නව නිර්මාණයක් ද නොඑසේ නම් එය අපගේ සම්ප‍්‍රදාය තුළ පැවති භාවිතයක් සඟවා තබා හෝ වැරදි ලෙස හුවා දැක්වීමක් හෝ නව නිර්මාණයක් ලෙස පෙන්වීමට උත්සාහ කිරීමක් ඇති දැ යි සොයා ගැනීමට ද හැකිවීම යි. 



ජෛව මංකොල්ලය වැළැක්වීමට අපට රටක් වශයෙන් පහත  පියවර ගත හැකිය


රාජ්‍ය තාන්ත්‍රික ලෙස මැදිහත් වීම හෝ  මෙරට පවත්නා නීතිය යටතේ ඇති ප‍්‍රතිකර්ම ප‍්‍රකාරව ලබා ගැනීම හෝ  එම විදේශීය රටෙහි පවත්නා නීතියේ ඇති ප‍්‍රතිකර්ම ප‍්‍රකාරව ලබා ගැනීම හෝ  යනුවෙන් මෙහි පියවර කිහිපයක් පවතී. ඉන්දියාව විසින් මෙහි සඳහන්  පළමු හා අවසන් කි‍්‍රයා මාර්ග ගෙන ඇති අවස්ථා පවතින 
අතර ලංකාව විසින් බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් ඍජුව ම අභියෝග කළ අවස්ථාක් නොමැති වුව ද යම් යම් අවස්ථාවල  පළමු  හා දෙවැනි ක්‍රියා මාර්ග මගින් අයිතිවාසිකම් තහවුරු කොට ගෙන ඇත.


වන සත්ව හා වෘක්ෂ ලතා ආරක්‍ෂා කිරීමේ ආඥා පනත, වන සංරක්‍ෂණ ආඥා පනත, ධීවර හා ජලජ සම්පත් පනත යන පනත් ඉතාමත් ඉහළ මට්ටමකින් ක්‍රියාවට නැංවීම


මෙම පනත් ප‍්‍රකාරව ක්‍රි කිරීමට බලය ඇති වන ජීවි දෙපාර්තමේන්තුව, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය යන ආයතන දැනුමින් හා බලයෙන් යාවත්කාලීන කිරීම


ජෛව මංකොල්ලය සිදු වන, අපනයන කරන, ගුවන් කොටුපළවල්, වරායවල් හි සිටින ආරක්‍ෂක නිලධාරීන්, රේගු නිලධාරීන් දැනුවත් කිරීම හා පුහුණු කිරීම.


මේ සම්බන්ධයෙන් මහජනතාව අතර උනන්දුවක් ඇති කිරීම හා ඔවුන් දැනුමින් සන්නද්ධ කිරීම  කළ හැකි ය.


යම් විදේශ රටක් මගින් ශ්‍රී ලංකාවේ ජෛව මංකොල්ලයක් සිදු කර ඇත්නම් එය මෙරට අයිතිවාසිකම් ඛණ්ඩනය කිරීමක් බැවින් නැවතත් එම ජෛව කොටස් මෙරටට ගෙන්වා ගැනීමට රාජ්‍ය මට්ටමින් කටයුතු කිරීම.


ජෛව මංකොල්ලයට ශ්‍රී ලංකාව තුළ සිටිමින් උදව් කරන පිරිස් සොයා ගෙන ඔවුන්ට එරෙහිව නීතිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම.


නමුත් ලංකාව වැනි රටකට එකවර ම සෑම ජීව කොට්ඨාසයක් ම ආරක්‍ෂා කර ගැනීමට තාක්‍ෂණික සම්පත් හා මානව සම්පත් නොමැති බැවින් එහි දී වඳවීමේ මට්ටම, ආවේණිකභාවය, විභව ආර්ථික වටිනාකම යනාදිය නිර්නායකයන් වශයෙන් ගෙන ශාක හා සතුන් ආරක්‍ෂා කිරීමේ ප‍්‍රමුඛතා පිළිවෙළක් නිර්මාණය කර ගත හැකි ය.



නීතිඥ ජගත් ගුණවර්ධන

No comments:

Post a Comment

ජෛව සොරකම සහ ජෛව මංකොල්ලය

  ජෛව සොරකම සහ ජෛව මංකොල්ලය ශ්‍රී ලංකාවේ හමුවන ශාක, සතුන් හා ඔවුන්ගේ කොටස් නීති විරෝධී ලෙස අපනයනය කිරීම කලක පටන් වරින් වර අසන්නට ලැබෙන කටයු...